SAFTA

‘‘සීපා’’ වෙනුවට සාටිස්’’ නම් එපා
ඉන්දියාව සමග එළබෙන්නට නියමිතව තිබූ ‘‘සීපා’’ ගිවිසුම හෙවත් විස්තීර්ණ ආර්ථික සහයෝගිතා ගිවිසුම ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිතුමා විසින් අත්හිටුවා වැඩි කලක් ගත වී නැත

. ඒ වෙනුවට ‘‘සාටිස්‘‘ හෙවත් සේවා වෙළදාම පිළිබඳ දකුණු ආසියානු ගිවිසුම නමින් නව ගිවිසුමක් කරළියට පැමිණ ඇත. මෙම සේවා ගිවිසුම ‘‘සෆ්ටා’’ නමින් හැදින්වෙන දකුණු ආසියානුනිදහස් වෙළඳ ගිවිසුම යටතේ සුවිශේෂී දිගුවක් ලෙස අත්සන් කෙරුනේ 2010 වසරේ නේපාලයේදීය. නමුත් එසේ අත්සන් කෙරුනේ මූලික සංකල්පීයකරුණු ඇතුලත් ගිවිසුම් රාමුවක් බැවින් ඒ පිළිබඳ වැඩි සමාජ අවධානයක් යොමුවූයේ නැත. එසේවුවත් දැන් එම ගිවිසුමට ඇතුලත්විය යුතු අන්තර්ගතය හෙවත් වැදගත් සහ තීරණාත්මක සේවා වෙළඳාම් කොන්දේසි අදාල රටවල් විසින් හුවමාරු කර ගැනීම අරඹා ඇත. ඒ අනුව ඉන්දියාව ප‍්‍රමුඛ සාක් රටවල් සේවා වෙළඳාමේ විවෘත කරන අංශ ඇතුලත් ඉල්ලීම් ශ‍්‍රී ලංකා රජයට ඉදිරිපත් කොට ඇත. ශ‍්‍රී ලංකා රජයද එම රටවලට ඉල්ලීම් ඉදිරිපත් කොට ඇත. ශ‍්‍රී ලංකා රජය යනුවෙන් සඳහන් කලද ඇත්ත වශයෙන් ඒ තීන්දු ගන්නේ වානිජ දෙපාර්තමේන්තුවේ සහ මහා භාන්ඩාගැරයේ නිලධාරීන් කිහිප දෙනෙකු විසිනි. දැන් ඉතිරිව ඇත්තේ එම ඉල්ලීම් බාරගත් බවට විධායක කවුන්සිලය විසින් තීරණය කිරීම පමණි. එවිට ගිවිසුම සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක වීම ඇරඹෙනු ඇත.

ඇත්තවශයෙන්ම මේ ගිවිසුම 2010 වසරේදී ඇමතිවරයා විසින් අත්සන් කිරීම සමාන කල හැක්කේ හිස් චෙක්පත් මිටියකට අත්සන් කිරීමකටය. දැන් ඇමැතිවරයා අත්සන් කල චෙක්පත් වලට අපේ නිලධාරීන් විසින් ඉන්දියාවේ බලසම්පන්න නිලධාරීන්ගේ නියෝග වලට අනුව ගණන් දැමීමට පටන්ගෙන ඇත. ඒ අනුව දැන් එම ගිවිසුමේ සියළු තීරණාත්මක සහ භයානක කොන්දේසි වලට එකඟ වන්නේ රාජ්‍ය නිලධාරීන් මිස ඇමැතිවරයා නොවේ. වෙනත් වචන වලින් කියනවා නම් ශ‍්‍රී ලංකාවේ සමස්ථ සේවා වෙළඳපල ආක‍්‍රමණය කල හැකි තරම් භයානක ආර්ථික කොන්දේසි වලට මේ නිලධාරීන් එකඟ වන්නේ පාර්ලිමේන්තුවේ හෝ කැබිනට් මණ්ඩලයේ නිල අනුමැතියකින් තොරවය. මෙම ගිවිසුම පොදුවේ සියළු සාක් රටවලට අදාල වූවත් එය සැබැවින්ම ඉන්දියානු ගිවිසුමක් ලෙස හැදින්වීමේ වරදක් නැත. ගිවිසුමට අදාලව සෙසු රටවල රාජ්‍ය නිලධාරී තන්ත‍්‍රය යටත් කිරීමේ මෙහෙයුම දියත් කරන්නේ ඉන්දියානු උපදේශකයින් සහ නිලධාරීන් විසිනි. ඉන්දියානු නිලධාරී තන්ත‍්‍රයේ දැවැන්ත බලය හමුවේ අපේ නිලධාරීන් අඟුටු මිට්ටන් ලෙස හැසිරීමේ ක‍්‍රියාවලිය හැදින්වෙන්නේ ද්විපාර්ශවීය හෝ බහුපාර්හවීය සාකච්ඡුා නම් වූ බැරූරුම් වචන වලිනි.

මෙම සාටිස් ගිවිසුමට අදාල සාකච්ඡුා ක‍්‍රියාවලිය ක‍්‍රමයෙන් ආරම්භ වන්නේ සීපා ගිවිසුමට එරෙහිවශ‍්‍රී ලංකාවෙන් දැඩි විරෝධය එල්ලවීම ආරම්භ වීමත් සමගය. ඇත්තවශයෙන්ම සීපා සහ සාටිස් ගිවිසුම් දෙකේම මූලික සම්භවය ලෝක වෙළඳ සංවිධානය බව ඉතා පැහැදිලිව පෙනේ. එම ගිවිසුම් දෙකේම සේවා වෙළඳාම ආශ‍්‍රිත කොන්දේසි සියල්ල ලෝක වෙළඳ සංවිධානයේ ‘‘ගැට්ස් ’’ ගිවිසුමේ කොන්දේසි වල කාබන් කොපියකි. බහු පාර්ශවීය ගැටිස් ගිවිසුමට ලෝක ජනතාවගේ විරෝධය එල්ල වීමේදී ලෝක වෙළඳ සංවිධානය තම උපදේශකයින් හරහා එම ගිවිසුම ද්වි පාර්ශවීය ගිවිසුමක් ලෙස ඉන්දියාව මගින් ශ‍්‍රී ලංකාව මත පැටවීමට ක‍්‍රියා කළේය. එය සමස්ථ ලෝකයේම එවැනි වූ පළමු උදාහරණය ලෙස සැලකිය හැක. ඒ අනුව ‘‘ සීපා’’ නමින් ද්වි පාර්ශවිකව ඉදිරිපත් වන්නේ ගැටිස් ගිවිසුමට අළුත් ඇඳුමක් අන්දවමිනි. පසුව සීපා ගිවිසුමට විරෝධය එල්ල වීමේදී එයට වෙනත් ඇඳුමක් අන්දවා සැටිස් නමින් දැන් ඉදිරිපත් කොට ඇත.

ලෝක වෙළඳ සංවිධානය සහ ඉන්දියානු ඒජන්තයින් ශ‍්‍රී ලංකාව මත මෙම යටත් කිරීමේ ගිවිසුම පැටවීමට උත්සාහ කරන්නේ ඔවුන්ගේ උපදේශකයින් නමින් හඳුන්වන ඔත්තුකරුවන් හරහාය. ශ‍්‍රී ලංකාවේදී මෙම ගිවිසුම වෙනුවෙන් ප‍්‍රභලව පෙනී සිටින රාජ්‍ය ආයතන දෙකක ප‍්‍රධානීන් ඉන්දියාවේ අධ්‍යාපනය ලැබූ අය වන අතර බටහිර රටවල පුරවැසිභාවයද ලබාගෙන ඇත. මොවුන් ශ‍්‍රී ලංකාවේ බදුගෙවන්නන්ගේ අරමුදලින් වැටුප් ලබාගන්නා අතර ජාත්‍යන්තර ඒජන්සි ආයතන වල වැටුප් ලැයිස්තු වලටද තම නම ඇතුලත් කරගෙන ඇත. මෙවැනි පිරිස් වලට මෙම කොන්ත‍්‍රාත් ලැබෙන්නේ ඔවුන් ශ‍්‍රී ලංකාවේ භූමියට වඩා බාහිර රටවලට ඇළුම් කරන පිරිස් නිසාය. ඔවුන් මේ මොහොතේ තම මවුරට ආර්ථික වශයෙන් ආක‍්‍රමණය කිරීමට අන් රටකට සහාය ලබාදෙන්නේ ඔවුන්ගේ ඒ දුර්ගුණය නිසාය.

ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් වලට අදාල ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනයේ මීට පෙර සිටි ප‍්‍රධානියාට ජනාධිපතිතුමා සේවා දිගුවක් ලබා දුන්නේ නැත. එයට හේතුව ලෙස එදා ප‍්‍රචාරය වූයේ ඔහු විසින් සීපා ගිවිසුම අත්සන් කිරීම සඳහා ආන්ඩුව අයතු ලෙස ඒ දෙසට තල්ලූ කිරීමය. දැන් සිටින ප‍්‍රධානියාට තවම එවැනි චෝදනා එල්ල වී නැත. එහෙත් එතුමා පසුගිය දිනවල සාටිස් ගිවිසුම ඉදිරියට තල්ලූ කිරීම සඳහා අඩියක් පෙරට තබා ඉදිරිපත් වීම තුල පෙන්නුම් කරන්නේ ඒ දෙදෙනා අතර වැඩි වෙනසක් නැති බවය.

පසුගිය දිනවල සාටිස් ගිවිසුමට අදාලව වෘත්තිකයින් අතර ආන්දෝලනයක් ඇති වී තිබිනි. ඒ නිසා මෙම ලියුම්කරු රජයේ ප‍්‍රභල අමාතයවරයකුගෙන් ඒ පිළිබඳව විමසා සිටි අවස්ථාවේදී ඔහු විස්තර සොයා බලා ප‍්‍රතිචාරයක් දැක්විය. ඔහුට අනුව අදාල අමාත්‍යාංශයේ අමාත්‍යවරයා සාටිස් ගිවිසුම් ක‍්‍රියාවලිය අත්හිටුවා ඇත. තත්වය එසේ නම් මෙම රාජ්‍ය ආයතනය විසින් මේ වන දියත්කොට ඇති සීඝ‍්‍රගාමී සාටිස් ක‍්‍රියාවලිය පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් නැත. එසේ නැතහොත් ඔහු සහෝදර අමාත්‍යවරයකුට පට්ටපල් බොරුවක් කියා ඇත. එසේත් නැතහොත් අදාල දෙපාර්තමේන්තු ප‍්‍රධානියා අමාත්‍යවරයාගේ කනින් රිංගා ගොස් ඉන්දියාවේ උවමනාව ඉටුකරමින් ඇත. තවත් විය හැකි තත්වයක් ඇත්නම් ඒ අමාත්‍යවරයා සහ නිලධාරීන් යන දෙකොටසම එකට එක්වී මහජනතාව ගොනාට ඇන්දවීමය.

පසුගිය මාර්තු 11 වැනි දින වානිජ දෙපාර්තමේන්තුව විසින් වෘත්තිකයින්ගේ සංවිධාන වලට සහ දේශීය ව්‍යාපාරිකයින් පිරිසකට ආරාධනා කොට තිබුනේ සාටිස් ගිවිසුමට අදාල ඉල්ලීම් ලැයිස්තු පිළිබඳව සාකච්ඡුා කිරීම සඳහාය. කෙසේ වෙතත් එම රැුස්වීමට පුළුල්  ලෙස විද්වත් වෘත්තික ක්‍ෂෙත‍්‍ර ආවරණය වන ලෙස ආරාධනා කොට නොතිබිණි. විද්වත් වෘත්තිකයින්ගේ සංවිධානයට ඔවුන් යෝජනා කොට ඇත්තේ සෙසු සාමාජික සංවිධාන වල අදහස් දැනගෙන පැමිණෙන ලෙසය. නමුත් එම සංවිධාන කියා සිටින්නේ ඒ සඳහා ප‍්‍රමාණවත් කාලයක් ඔවුනට නොලැබුන බවය. එම රැුස්වීම පවත්වන්නේ වෘත්තීකයින්ගේ අදහස් ලබාගැනීමට යයි පැවසුවද ඒ වන විටත් ශ‍්‍රී ලංකාව විසින් ඉන්දියාවෙන් කරනු ලබන ඉල්ලීම් ලැයිස්තුව සාර්ක් විධායක කවුන්සිලයට යවා තිබූ බවද දැන් වාර්තා වේ. එසේම අදාල රැුස්වීමේ වාර්තාව සහභාගී වූවන්ට ලැබෙන්නේ දින 14 කට පසුව 25 වැනිදාය. එම වාර්තාව අනුව සභාතොමෝ සියල්ලට එකඟ වී සතුටින් විසිර ගොස් ඇත. රැුස්වීමට සහභාගී වූවන් පවසන්නේ තමා බලවත් රැුවටිල්ලකට හසු වූ බවය.

දැන් මෙම ආයතනය විසින් මැයි 28 වෙනිදාටද රැුස්වීමක් කැඳවා ඇත. නමුත් ජුනි පළමු සතියේ පැවැත්වෙන සාටිස් විධායක කවුන්සිල රැුස්වීමට යැවිය යුතු අවසාන ලේඛන මේ වන විටත් සකස් කොට ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කොට ඇත. ඒ අනුව එම රැුස්වීමේ වාර්තාව තව සති දෙකකින් ලැබෙන විට අශ්වයා පැනගොස් හමාරය. ඉන් පසුව ඉස්තාලය වසා දමා කෝපි කොප්පයක් බීමටද ගොනාට ඇන්දවූ විද්වතුන්ට ආරාධනය කෙරෙනු.

මෙම ගිවිසුමට අනුව එක් එක් සාර්ක් රටවල් අනෙක් රටවල් විසින් තම රටට විවෘත කල යුතු සේවා වෙළඳ අංශ පිළිබඳව ඉල්ලීම් ඉදිරිපත් කල යුතුය. ඉන් පසුව අදාල ප‍්‍රති පාර්ශවය එම ඉල්ලීම් භාරගත් බවට සහතිකය දිය යුතුය. එවිට ගිවිසුම සම්පූර්ණ වේ. ඒ අනුව ඉන්දියාව විසින් තම ඉල්ලීම් ශ‍්‍රී ලංකාවට ඉදිරිපත් කොට ඇත. එම ඉල්ලීම් ලැයිස්තුව මගින් වෛද්‍ය සේවා, ඉංජිනේරු සේවා, ගණකාධිකාරී, රක්‍ෂණ, බැංකු ආදී වශයෙන් ඉර හඳ යට ඇති සියළු සේවාවන් විවෘත කරන ලෙස ඉල්ලා ඇත. ශ‍්‍රී ලංකාව ඊට ප‍්‍රතිචාර ලෙස ඉන්දියාව විසින් විවෘත කළයුතු සේවා ඉල්ලීම් ලැයිස්තුවට ඉංජිනේරු, වාස්තු විද්‍යා ආදී වෘත්තික සේවා මෙන්ම රක්‍ෂණ, බැංකු ආදී මූල්‍ය සේවාවන්ද ඇතුලත් කොට ඇත. ඒ අනුව ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව දෙපැත්තෙන්ම ඉල්ලා ඇති සේවා අංශ දෙපැත්තම සහතික කරන සේවා ලෙස සැලකිය හැක. ඉන්දියාව ඉල්ලා ඇති එහෙත් ශ‍්‍රී ලංකාව ඉල්ලා නැති වෛද්‍ය වැනි ක්‍ෂෙත‍්‍ර වැනි ක්‍ෂෙත‍්‍ර පිළිබඳව ශ‍්‍රී ලංකාවේ එකඟතාව මේ වනතුරු සහතික කොට නැත.

බොහෝ විට මෙම නිලධාරීන් උපක‍්‍රමශීලීව වෛද්‍ය වැනි ක්‍ෂෙත‍්‍ර පළමු වටයේදී විවෘත කිරීමට එකඟ නොවනු ඇත. එයට හේතුව එම ක්‍ෂෙත‍්‍රයේ වාත්තීය සමිති බලවත් බැවින් පළමු වටයේදීම දැඩි විරෝධය එල්ල විය හැකි වීමය. නමුත් ගිවිසුම අනුව දිගින් දිගටම සේවා අංශ විවෘත කරන ලෙස ඉල්ලීමට ඉන්දියාවට බලය ඇත. එසේම යම්සේවාවක් ඉන්දියාවට නොදී වෙනත් රටකට විවෘත කළහොත් එම සේවාව ඉන්දියාවටද ලබා දෙන ලෙස ඉල්ලීමට බලයක් ගිවිසුම අනුව ඉන්දියාවට ලැබේ. මෙම ගිවිසුම තුල සේවා සපයන ආකාර හතරක් (4 ක්* ඇත. ඒවා ගැටිස් ගිවිසුම තුලිත් පසුව සීපා ගිවිසුම තුලත් ඒ ආකාරයටම අන්තර්ගත විය. ඒ අනුව ඉන්දියානු සේවා වෙළඳ සමාගම් වලට මව් රටේ ශාඛාවක් ලෙස හෝ දේශීය සමාගමක් ලෙස ශ‍්‍රී ලංකාව තුල සේවා වෙළදාමේ යෙදීමට අවස්තාව ලැබේ. එසේම ශ‍්‍රී ලාංකිකයින්ට ඉන්දියාවට ගොස් ඉන්දියානු සේවා වෙළඳ සමාගම් වලින් සේවා ලබාගැනීමටද හැක. ඊට අමතරව ශ‍්‍රී ලාංකිකයින්ට ඉන්දියාවට නොගොස් ඉලෙක්ඨෙ‍්‍රානික් මාධ්‍ය හරහා ලබාගත හැකි සේවා ලබාගත හැක. ඒ සියල්ලටම වඩා භයානකම ක‍්‍රමය වන්නේ ඉන්දියානුවන්ට නිදහස් පුද්ගලයින් ලෙස ශ‍්‍රී ලංකාවට පැමිණ සේවා සැපයීමට ඉඩ ලැබීමය. එය හැඳින්වෙන්නේ සතර වැනි සේවා වෙළඳ ක‍්‍රමය ලෙසය.

නිදහස් පුද්ගලයන් ලෙස සේවා සැපයීමට ශ‍්‍රී ලංකාවට පැමිණෙන අයට ශ‍්‍රී ලංකාවේ පිහිටුවන ඉන්දියානු සමාගම් වල හෝ ශ‍්‍රී ලංකා සමාගම් වල පමණක් නොව ස්වාධීනව රැුකියා කරමින් සේවා සැපයීමටද අවස්ථාව ලැබේ. එසේ පැමිණෙන සේවා වෘත්තිකයින්ට සහ ඔවුන්ගේ යැපෙන්නන්ට වීසා ලබැදීමට අප බැඳී සිටියි. එසේම ඒ යැපෙන්නන් හට සේවා සැපයීම සඳහා සුදුසුකම් ඇත්නම් ඔවුන්ට රැුකියා කිරීමට අවස්ථා ලබාදීමටද අප බැඳී සිටියි. ඒ අනුව ඉන්දියානු වෛද්‍යවරයකුගේ බිරිඳ බාබර් වරියක් නම් ඇයටද එම රැුකියාව කිරීමට අප විසින් ඉඩ සලසා දිය යුතුය. එහිදී ජාතික සත්කාරය නැමැති ප‍්‍රතිපාදනය මගින් වෘත්තීය ලියාපදිංචිය අවශ්‍ය සේවා වලට අදාල බලපත‍්‍රය ලබෙදීමේදී සමානව සැලකීමටද ගිවිසුම අනුව අප බැදී සිටියි.

මෙහිදී මෙම ලිපිය මගින් ඉන්දියාව ගැන පමණක් අවධාරණය කරන්නේ අනෙක් කුඩා සාක් රටවල් වලින් මහා පරිමාණයෙන් පුද්ගලයින් සංක‍්‍රමනය වීමේ ඉඩකඩ අඩු නිසාය. ඇත්ත වශයෙන්ම ඉන්දියාව පැත්තෙන් ගත් විට සීපා ගිවිසුම වැනි සෘජුව ද්වි පාර්ශවිකව අත්සන් කරන ගිවිසුමකට වඩා සාටිස් ගිවිසුම මගින් ඉන්දියාවේ සෑබෑ ආක‍්‍රමණශීලී අරමුණ සැඟවීමේ හැකියාව වැඩිවේ. සාට්ස් ගිවිසුම සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක වූවහොත් ඉන්දියානු සේවා සමාගම් සහ වෘත්තිකයින් විසින් ශ‍්‍රී ලංකාවේ සේවා වෙළඳපල සම්පූර්නයෙන්ම අත්පත් කර ගන්නවාට කිසිදු සැකයක් නැත. අවසානයේ ශ‍්‍රී ලාංකකයින්ටද ඉන්දියානු සමාගම් හෝ වෘත්තිකයින් යටතේ රක්‍ෂාවල් ඉල්ලීමට සිදු වනු ඇත. මේ වන විටත් ඉන්දියාව ශ‍්‍රී ලංකාවේ ඛනිජතෙල් සහ බල ශක්ති ක්‍ෂෙත‍්‍රයේ වෙළඳපල තුල බරපතල අත්පත් කර ගැනීමක් සිදුකරන බව රහසක් නොවේ.

ශ‍්‍රී ලංකාව විසින් සාටිස් ගංවතුර ගේට්ටු විවෘත කල පසුව ඉන්දියානු ගඟ ගලන්නේ ශ‍්‍රී ලංකාව පැත්තට පමණක් බවට කිසිදු සැකයක් තබාගත යුතු නැත. මේ ගිවිසුම ප‍්‍රචලිත කරන ඉන්දියානු කුලී කරුවන් හෙවත් ඔත්තුකරුවන් කියන්නේ ශ‍්‍රී ලාංකකයින්ටද ඉන්දියාවට හෝ අනෙකුත් සාක් රටවලට ගොස් සේවා වෙළදාමේ යෙදීමට අවස්තාව ලැබෙන බවය. එය හුදු අහිංසක හෝ මෝඩ අපේක්‍ෂාවක් හෙවත් කැරට් අලයක් පමණක් බව ඉන්දියාවේ රැුකියා කිරීමේ අමාරුව දන්නා ශ‍්‍රී ලාංකිකයින්ට රහසක් නොවේ.

ශ‍්‍රී ලංකාව බාහිර රටවල් සමඟ වෙළඳ ගිවිසුමේ අත්සන් කරනවාට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විරුද්ධ නැත. අප විරුද්ධ වන්නේ ආක‍්‍රමණගීලි යටත් කිරීමේ ගිවිසුම් වලටය. මේ වන විට ශ‍්‍රී ලංකාව ඉන්දියාව සමග අත්සන් කොට ඇති නිදහස් වෙළඳ ගිවිසුම ඉතාම අසාධාරණ ලෙස ඉන්දියාවට වාසි සහගත ලෙස ක‍්‍රියාත්මක වේ. ශ‍්‍රී ලංකාව ඉන්දියාවෙන් ඩොලර් මිලියන 5000 ක භාණ්ඩ මිලදී ගන්නා විට ඉන්දියාව ශ‍්‍රී ලංකාවෙන් මිලදී ගන්නේ ඩොලර් මිලියන 300 – 500 අතර ප‍්‍රමාණයකි. එනම් දහයෙන් එක් පංගුවකි. ඉන්දියාව අපේ ප‍්‍රධාන නිෂ්පාදන වන තේ සහ ඇඟළුම් වලට ඊනියා නිදහස් වෙළඳ ගිවිසුමේ කොන්දේසි මගින් පමණක් නොව විවිධ ප‍්‍රාන්ත නීති රීති හරහාද සීමා පනවා ඇත. ශ‍්‍රී ලංකාවේ උසස් නිෂ්පාදන ඉදිරිපත් කරන ප‍්‍රභල සමාගම් වලටද තම භාණ්ඩ ඉන්දියාවට යැවීමට ඉඩ ලැබුනේ නැත. දැන් පවතින මෙම අසාධාරණ තත්වය වෙනස් නොකර නව ගිවිසුම් අත්සන් කිරීම දිවි පාර්ශවික එකඟතාවයක් ලෙස හැදින්විය නොහැක. එය වචනයේ පරිසමාප්ත ආර්ථයෙන්ම නිවට යටත් වීමක් මිස අන් යමක් නොවේ.

ඉන්දියාව අපට මසා දුන් නිදහස් වෙළඳ ගිවිසුම් කමීසය අඳින්න බැහැ. එකේ ‘‘ අත් හිරයි ’’ ‘‘ බෙල්ල හිරයි ’’ ආදී වශයෙන් අප පැමිණිලි කරන විට ඔවුන් කියන්නේ කුමක්ද ? ඔවුන් කියන්නේ කමීසය හදන්න බැහැ. ඒ වෙනුවට ඊට වඩා වැඩි වියදමකට උඩින් අඳින්න ‘‘ සාටිස් ’’ කෝට් එකක් මසා දෙන්නම් කියාය. කෙසේ වෙතත් මේ මොහොතේ දී අපට කිව හැක්කේ දැන් අවසානය පැයේදී හෝ සාටිස් ගිවිසුමේ ක‍්‍රියාවලිය තාවකාලිකව නවත්වන ලෙසය. ඉන් පසුව ගිවිසුමේ සැබෑ බලපෑම සමාජ කථිකාවකට ලක් කොට දීර්ඝ කාලීනව රටේ ආර්ථික ස්වාධිපත්යයට බලනොපාන යම් සේවා අංශයක් ඇත්නම් එය පමණක් විවෘත කරන ලෙසය. අප එසේ කියන්නේ 2010 දී ශ‍්‍රී ලංකා රජයේ අන්ධ ඇමැතිවරුන් නේපාලයට ගොස් හිස් චෙක්පතකට අත්සන් කිරීම වැලැක්වීමට නොහැකි වීමේ වරදට ජාතියෙන් සමාව අයදින අතරය. අවසාන වශයෙන් අප කිවයුත්තේ සීපා වෙනුවට අත යටින් අත්සන් කල සාටිස් ගිවිසුම සම්පූර්නයෙන්ම ක‍්‍රියාත්මක වෙන තත්වයක් උදාකලහොත් ඉතා කෙටි කලකින් ශ‍්‍රී ලාංකිකයින්ට වෙනත් රටක් සොයා ගැනීමට සිදු වන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


9 − = six