About Mawbima Lanka Foundation

අපේ සංවිධානය

මව්බිම ලංකා පදනම 1982 අංක 122 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති ලාභ පරමාර්ථයෙන් තොර වූ සීමිත වගකීම් සංවිධානයකි. අපේ දැක්ම ක්‍රියාවට නැංවීම සඳහා නායකත්වය දීම උදෙසා අධ්‍යක්ෂකවරුන් දස දෙනෙකු පත්කරනු ලැබේ. සංවිධානයේ අරමුණු වෙනුවෙන් හදවතින්ම කැපවී සිටින ඔවුන් විසින් ස්වේච්ඡා පදනමක් මත ස්වකීය උපරිම දායකත්වය සංවිධානය වෙනුවෙන් ලබාදෙනු ඇත.

මව්බිම ලංකා පදනමේ ප්‍රධාන අරමුණු

  1. ශක්තිමත් හා ස්ථාවර ජාතික ආර්ථිකයක් ගොඩනැංවීම උදෙසා ලබාදෙනු ලබන දායකත්වය අනුව දේශීය කර්මාන්ත හා දේශීය වශයෙන් නිෂ්පාදිත භාණ්ඩ හා සේවා (අලෙවි නාම) ඇගයීමකට ලක්කර ඒවා සඳහා ස්වේච්ඡා පදනමක් මත ඇගයීමක් ලබාදීම.
  2. ශක්තිමත් හා ස්වයන්පෝෂිත ජාතික ආර්ථිකයක් බිහිකිරීමට උපකාරීවන ආකාරයේ පාරිභෝගික සංස්කෘතියක් හා චින්තනයක් සමාජය තුල ස්ථාපිත කිරීම සඳහා අධ්‍යාපනික හා සමාජ සංස්කෘතික ක්‍රියාකාරකම් මෙහෙයවීම.
  3. ජාතික ආර්ථිකය කෙරෙහි උපරිම දායකත්වයක් ලබාදීමට දේශීය කර්මාන්තකරුවන්ට හැකිවන පරිදි ඔවුන්ගේ ව්‍යාපාරික කාර්ය සාධනය වර්ධනය කරගැනීම සඳහා දේශීය කර්මාන්තකරුවන්ට අධ්‍යාපනික, තාක්ෂණික සහය ලබාදීම හා ඔවුන්ව ධෛර්යමත් කිරීම.
  4. දේශීය කර්මාන්ත හා නිෂ්පාදන වාර්ෂිකව ඇගයීම හා උසස්ම භාවිතාවන් වෙනුවෙන් සම්මාන ප්‍රධානය.
  5. දේශීය කර්මාන්තකරුවන්ට ස්වකීය ව්‍යාපාරික කාර්යසාධනය වැඩිදියුණු කරගැනීම සඳහා උපකාරවන වෙළඳපොල හා සමාජ සමීක්ෂණ සිදුකිරීම.
  6. සූර්ය සිංහ ලාංඡනය යොදාගනිමින් දියත් කරනු ලබන ප්‍රචාරණ ව්‍යාපාර මගින් දේශීය නිෂ්පාදන හා සේවා ශ්‍රී ලාංකික වෙළඳපොල තුළ ප්‍රචලිත කිරීම.
  7. දේශීය කර්මාන්තකරුවන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීම හා ඔවුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා ආයතනික පදනමක් ලබාදීම.
  8. දේශීය කර්මාන්ත හා සේවා අංශයන්හි නවෝත්පාදන දිරිගැන්වීම.
  9. ආනයනික ආහාර ද්‍රව්‍යවලට වඩා දේශීය වශයෙන් නිෂ්පාදනය කෙරෙන ආහාර සඳහා ප්‍රමුඛස්ථානය ලබාදෙන පරිභෝජන සංස්කෘතියක් බිහිකිරීම.
  10. අපගේ සහතිකය ලබා ඇති දේශීය කර්මාන්ත හා සේවා සම්පාදන ආයතන අතර ඇතිවන යම් ගැටුමකදී බේරුම්කාර ආයතනයක් ලෙස ක්‍රියාකිරීම හා පොදු යහපත උදෙසා වන මග පෙන්වීම හා උපදෙස් ලබාදීම.

අපේ ක්‍රොමෝපායික ප්‍රවේශය

  • දේශීය නොවන නිෂ්පාදන වලින් දේශීය නිෂ්පාදන වෙන්කර හඳුනාගැනීමට හැකි පරිදි දේශීය අලෙවිනාම සඳහා ලාංඡනයක් හෝ සංකේතයක් හඳුන්වාදීම.
  • එම සංකේතයේ වැදගත්කම පිළිබඳ අවබෝධයක් සමාජය තුළ ඇතිකිරීම.
  • දනුවත්ව මිලදීගැනීම පිළිබඳව තීරණ ගැනීමට පාරිභෝගිකයා හුරුකවීම.
  • එම සංකේතය හා ජනතාව අතර තියුණු බැඳීමක් ඇතිකරවීම.
  • සියලු ප්‍රවර්ධන වැඩසටහන් මගින් දේශප්‍රේමිත්වය ඉදිරියට ගෙන ඒම.

දෙන්න අපේ දේ

ඔබත් ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක හෝ සේවාවක හිමිකරුවෙකු නම් අපි ප්‍රථමයෙන් ඔබේ මහඟු සේවය අගය කරමින් ඔබට සුභ පතමු.

රටට ආදරය කරන ජනතාව අතර ශ්‍රී ලාංකේය නිෂ්පාදන ප්‍රචලිත කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කරනු ලබන අප, මව්බිම ලංකා ආයතනයයි. අප ලාභ නොලබන ආයතනයකි.

පාරිභෝගිකයාට දේශීය දේ පහසුවෙන් හඳුනා ගැනීම සඳහා අප ආයතනය මගින් දේශීය වෙළඳ නාම සඳහා පිරිනමන ගන්න අපේ දේ ලකුණ හෙවත් දේශීයත්වයේ ලාංඡනය ඔබටත් ලබාගත හැකියි.

එම ලාංඡනය ඔබගේ නිෂ්පාදනයට හෝ සේවාවට පිරිනැමීම සිදුකරනු ලබන්නේ ඔබගේ අයදුම් කිරීමෙන් පසුව අප ආයතනය මගින් කරනු ලබන මූලික පරීක්ෂණයකින් පසුවය.

ඔබගේ භාණ්ඩ හෝ සේවාවන් අදාළ නිර්ණායකයන්ට අනුකූලදැයි විශේෂ කමිටුවක් මගින් ඇගයීමකට ලක් කෙරේ.

අපේ ඉහළම ප්‍රචාරණය

මෙම ලාංඡනය දේශීය නිෂ්පාදන හා සේවාවන් සඳහා වැඩි වටිනාකමක් සහ කල එළියක් ලැබෙන අතර ඒ සඳහා දීප ව්‍යාප්ත ප්‍රචාරණ මාලාවක් සකස් කීරීමට ද අප මේවන විට වහ වහා කටයුතු සුදානම් කරමින් සිටිමු. එම ප්‍රචාරණ කටයුතු මගින් ඈත ගමේ සිට මෑත නගරය දක්වා ම ජීවත් වන ජනතාවට දේශීය දේ පිළිබඳව ගෞරවනීය හැගීමක් ඇති කරවනු ලැබේ. ඒ මගින් දේශීයත්වයේ ලාංඡනය ලබන දේශීය නිෂ්පාදන වලට වෙළෙඳපොල තුළ ඉහළ ඉල්ලුමක් හිමිවේ.

රාජ්‍ය ආයතන සමඟ සහයෝගීතාව

ගන්න අපේ දේ ප්‍රචාරණ ව්‍යාපෘතිය දියත් කරන්නේ කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශය සහ උපාය මාර්ගික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ සහයෝගයෙනි.

අපේ දේ ඔබේ කරගන්න

ඔබගේ නිෂ්පාදනය හෝ සේවාව මෙම ලාංඡනය සඳහා සුදුසු නම් එම ලාංඡනය භාණ්ඩ හෝ සේවාවන් සඳහා අයදුම් කල හැකි අතර එමගින් අපේ දේ පාරිභෝගිකයාට පහසුවෙන් හඳුනා ගත හැක.

අපේ දේ නිසා ඔබට ලැබෙන තවත් දේ

  • වාර්ෂිකව පැවැත්වෙන අපේ දේ සම්මාන උළෙල
  • කර්මාන්ත හා අලෙවිකරණය පිළිබඳව විශේෂඥයින් ගේ උපදෙස්
  • තාක්ෂණික සහය
  • තරඟකාරී වෙළෙඳපොල තොරතුරු
  • කම්කරු ගැටළු විසදීම සඳහා මැදිහත් වීම
  • දේශීය කර්මාන්ත වෙනුවෙන් පෙනී සිටීම

අපේ දේ ලාංඡනය ලබාගැනීම සඳහා අයදුම් කරන්නේ කෙසේද..?

www.gannaapede.com වෙබ් අඩවියට පිවිස එහි ඇති අයදුම්පත පුරවා පහත ලිපිනයට හෝ info@gannaapede.com විද්‍යුත් ලිපිනයට ඒවා ඔබගේ උනන්දුව ප්‍රකාශ කරන්න.

තෝරා ගැනීම

ඔබගේ භාණ්ඩ හෝ සේවාවන් අදාළ නිර්ණායකයන්ට අනුකූල දැයි පරීක්‍ෂා කීරීම සඳහා පළපුරුදු කණ්ඩායමකට යොමු කෙරේ. ඔබගේ භාණ්ඩ හෝ සේවාවන් සඳහා ගන්න අපේ දේ ලාංඡනය සඳහා අනුමැතිය ලැබෙන්නේ එම අගයීමෙන් පසුවය.

පළපුරුදු කණ්ඩායම සැදුම් ලබන්නේ කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ පලදායීතාව පිළිබඳ විශේෂඥයෙකු, පළපුරුදු විදේශීය විශේෂඥයෙකු සහ අදාළ විෂය පිලිබඳ පළපුරුදු මහාචාර්යවරයකු ඇතුළු විශේෂඥයින් පිරිසක් විසිනි.

ඔබේ අයදුම්පත් එවිය යුතු අපේ ලිපිනය

මව්බිම ලංකා පදනම

අංක A4, පෙරහැර මාවත,

කොළඹ 3.