වත්මන් ආර්ථික අර්බුදය ජයගැනීම මුල් කරගෙන ජාතික නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා යෝජනා.

ආණ්ඩුව විසින් කොන්දේසි විරහිතව සැළකිල්ලට ගත යුතු උපාය මාර්ගික වශයෙන් වැදගත්වන මුලික ප්‍රතිපත්තිමය කරුණු

(1) දේශිය නිෂ්පාදන ආර්ථිකය ශත්තිමත් කිරිම සදහා ආනයන අධෛර්යමත් කළ යුතු බව සහ ආනයන සදහා දේශිය විකල්ප නිෂ්පාදන දිරිමත් කළ යුතු බව, එනම් ආරක්ෂණවාදය, ජාතික ප්‍රතිපත්තියක් ලෙස පිළිගැනීම සහ ඊට අදාල බදු ප්‍රතිපත්ති පිළිබදව විනිවිදතාවයෙන් යුතුව කටයුතු කිරිම.

(2) එම ප්‍රතිපත්තියට අදාලව රටේ ජනතාවගෙන් වැඩි පිරිසකට ආර්ථික ඉඩ ප්‍රස්ථා සලසන සහ රටේ ආහාර සුරක්ෂිතාවය මත සහ වෙළදපල තුල විශාල බලපෑමක් ඇතිකරන ආහාර වෙළදපලවල් හදුනාගෙන ඊට අදාල ආනයනික නිෂ්පාදන මගින් වෙළදපල තුල මිළ විකෘතීන් ඇති කිරිම වැලැක්වීම යනු දේශිය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා වන පූර්ව කොන්දේසියක් ලෙස පිළිගැනීම. (විදේශීය සහ දේශීය බදු සහන මගින් ආනයනික නිෂ්පාදන වල මිල කෘතීමව පහත දැමීම වැලක්විය යුතු බව පිළි ගැනීම.)

(3) එසේ තොරාගත් වැඩි බලපැමක් සහිත වෙළදපොල තුල (උදාහරනයක් ලෙස තිරිඟු පිටි සහ සහල් අතර තරඟකාරි වෙළදපල, ආහාරයට ගන්නා තෙල් වර්ග වෙළදපල සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන වෙළදපල) පවතින මිළ විකෘතීන් නිවැරදි කිරිම සදහා බදු පැනවිමේදී කෙටි කාලිනව ආනයනික ද්‍රව්‍යය වල මිළ ඉහල යෑම මගින් ඇතිවිය හැකි මහජන විරෝධය සමනය කිරිම සදහා විනිවිදභාවයෙන් යුතුව අදාල බදු ප්‍රතිපත්තිය, විශේයෙන්ම දේශිය නිෂ්පාදන වියදම මත මිළ සුත්‍රය සකස් කරන ආකාරය සහ දේශිය නිෂ්පාදනවල මිලට වඩා අවම වශයෙන් 5 –- 10 % අතර ප්‍රතිශතයකින් ආනයනික ද්‍රව්‍යය වල මිල ඉහළ මට්ටමක තැබීම සදහා බදු පැනවීම සිදු කරන ආකාරය පිළිබද තොරතුරු මහජනයාට ලබා දීම සහ ඒ පිළිබදව මහජන සංවාදයක් ඇති කොට එම උපාය මාර්ගික ප්‍රවේශයට මහජන සහය ලබාගත යුතු බව පිලිගැනිම.

(4) එසේ වෙළදපල මිල විකෘතීන් නිවැරදි කිරීම සදහා බදු පැනවීමේදී (ඉතා වැදගත් වෙළදපල කිහිපයකට අදාලව පමණක්) මහජන විරෝධය සමනය කිරීම සදහා එම බදු අරමුදල් විශේෂ අරමුදලකට බැර කොට, එම අරමුදල් දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය දියුණු කිරීම සදහා සහ අඩු ආදායම් ලාභීන්ට සහනාධාර ලබා දීම සඳහා පමණක් යොදවන බව සහතික කිරීම මෙන්ම ඒ මගින් දේශීය නිෂ්පාදන වැඩි කොට නැවත මිල අඩු කිරීමේ හැකියාව තිබෙන බව සහතික කිරීම.

(5) රටේ බහුතර ජනතාවකට ආර්ථික ඉඩ ප්‍රස්ථා සැළසෙන හා රට සතු සම්පත් වලින් උපරිම ඵල නෙලා ගැනීම මුල් කරගෙන සුවිශේෂී මහා පරිමාණ කර්මාන්ත ප්‍රමාණයක් ආරම්භ කිරීම සහ ඒ සදහා දේශීය ආයෝජකයින්ට ආරාධනා කිරීම. (එහිදී මව්බිම ලංකා පදනමට මූලික වටයේදී ක්ෂේත්‍ර 7 ක කර්මාන්ත සදහා ආයෝජකයින් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත).

(6) තොරාගත් සුවිශේෂී කර්මාන්තවලට අදාල දේශීය ආයෝජකයින්ට ප්‍රාග්ධන සහය ලබාදිම සදහා රාජ්‍ය බැංකු යොදාගනිමින් ණය ලබා දීමට අමතරව ප්‍රාග්ධන කොටස් ප්‍රමාණයක් මිළදී ගැනීම. (රජයට අයත්ලෙස සැලකෙන එම කොටස් ප්‍රමාණය ක්‍රමයෙන් අයෝජකයින්ට ආපසු විකිනිය හැක) ඒ සඳහා සිංගප්පූරුවේ ”තමාසෙක්” අරමුදල මෙන් ජාතික අරමුදලක් ගොඩ නැගීම වඩා සුදුසු වේ.

(7) විදේශ විනිමය පණත සංශෝධනය කිරීම මගින් අපනයන ආදායම් රට තුලට ගෙන ඒම සහතික කිරීම සහ කළු වෙළඳපල පාලනය කිරීම.

(8) රාජ්‍ය ණය කළමණාකරණය, විශේෂයෙන්ම විඝණන කටයුතු ශක්තිමත් කිරීම සඳහා විශේෂිත නීතිමය රාමුවක් හඳුන්වා දීම.

(9) විදේශ රැකියා නියුත්තිකයින් මගින් බැංකු පද්ධතිය හරහා විදේශ විනිමය ප්‍රේෂණය කිරීම දිරිගැන්වීම සදහා විශේෂිත විස්තීරණ දිරිගැන්වීමේ පැකේජයක් හදුන්වාදීම.

(10) විදේශ රැකියා ක්ෂේත්‍රයේ තාක්ෂණික සහ වෘතීය නිපුනතාවය සහිත රැකියා වෙළදපොල සදහා පුහුණු ශ්‍රමිකයන් සැපයීම මුල් කරගෙන දැනට රජය සතු වෘතීය පුහුණු පාසල් වලට අමතරව පාසල් පද්ධතිය සහ ආරක්ෂක හමුදා සතු සම්පත් යොදාගනිමින් සමස්ත රටම පුහුණු කදවුරක් බවට පත් කිරීම.

(11) දේශීය වෛද්‍ය සේවා සැපයීම මුලික කරගනිමින් සහ කුඩා සහ මධ්‍යම පරිමාණ සේවා සැපයුම් කරුවන් ඉලක්ක කරමින් සංචාරක කර්මාන්ත නැවත ස්ථානගත කිරීම සහ ඊට අදාල නව නියාමන ක්‍රියාවලියක් හදුන්වාදීම.

(12) බොරතෙල් සැපයීම සහ ඊට අදාලව අඩුම මිලට සැපයීම මුල්කරගෙන විදේශ ආයෝජන සදහා ආරාධනා කිරීම මගින් නව ඛනිජ තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීම සහ රටේ සමස්ත ඛනිජ තෙල් අවශ්‍යතාවය එමගින් සපුරා ගැනීම.


ආණ්ඩුව විසින් ගත යුතු නිෂ්චිත ක්‍රියා මාර්ග (ඉහත සඳහන් ප්‍රතිපත්ති රාමුවට අනුව.)

(1) සහල් සහ තිරිගු පිටි අතර තරගකාරී වෙළදපල, ආහාරයට ගන්නා තෙල් වෙළදපල සහ කිරි ආහාර වෙළදපල යන වෙළදපල 03 තුල පමණක් පවතින මිල විශමතා නිවැරදි කිරීම සදහා විශේෂ පාරිභෝගික බදු පැනවීම. එසේ බදු ගණනය කිරීමේදී දේශීය විකල්ප නිෂ්පාදන වල මිලට වඩා ආනයනික ද්‍රව්‍යයන් වල මිල 10% කින් ඉහල මට්ටමක පවතින ලෙස බදු ප්‍රමාණයන් නිර්ණය කල යුතුය. (එම ක්‍රියාවලිය විනිවිධ භාවයෙන් යුතුව සිදු කල යුතු අතර සියළු තොරතුරු මහජනයාට ලබා දී මහජන සංවාදයක් ඇතිකොට මහජන සහය ලබා ගත යුතුය. එසේම එම බදු අරමුදල් විශේෂ අරමුදලකට බැර කොට ඒවා අදාල ක්ෂේත්‍ර වල නිෂ්පාදනය ඉහල දැමීම සහ අඩු ආදායම් ලාභීන්ට සහනාධාර ලබා දීම සදහා පමණක් භාවිතා කරන බවට සහතිකයක් ලබා දීම.

(2) අත්‍යාවශ්‍ය ආහාර සදහා පමණක් බල පැවැත්වෙන පරිදි සුපිරි වෙළද සැල් වලින් ලබා ගන්නා ඉහල කොමිස් මුදල් අඩු කිරීම සදහා පාරිභෝගික අධිකාරී පනත් යටතේ සීමාවක් පැණවීම. (එමගින් නිෂ්පාදකයා රෑක ගන්නා අතර පාරිභෝගිකයාටද සාධාරණය ඉටු කිරිම)

(3) දේශීය නිෂ්පාදන දේශීය ආහාර මහ ජනයා අතර ප්‍රචලිත කිරීම සදහා රජය විසින් පුද්ගලික අංශයේ සහය ඇතිව රජයේ මාධ්‍ය භාවිතා කරමින් අධ්‍යාපන සහ ප්‍රචාරක වැඩපිළිවෙළක් දියත් කිරීම.

(4) රජය රටේ විශාලතම මිල දී ගන්නා ලෙස දේශීය නිෂ්පාදන මිල දී ගැනීම සදහා දැනට ලබා දී ඇති ප්‍රමුඛතාවය අනිවාර්ය කිරීම.

(5) ස.තො.ස. සහ සමූපකාර ජාලය මගින් අත්‍යාවශ්‍ය ආහාර සෘජුව ආනයනය කිරීම සහ දේශීය නිෂ්පාදන මිල දී ගැනීම මගින් ආරක්ෂණ තොග පවත්වාගෙන යෑම, බෙදා හැරීම සහ අලෙවි කිරීම සදහා ප්‍රමුඛතාවය ලබා දීම මෙන්ම එය එම ආයතනයේ මූලික වගකීම බවට පත් කිරීම.

(6) එළවළු වෙළදපල තුල පවතින අකාර්යක්ෂමතාවයන් අඩු කිරීම සදහා රජයේ මැදිහත් වීමෙන් මිළ දී ගැනීමේ සහ විකිණීමේ සමුපකාර ජාළයක් පිහිටුවීම සහ එම ක්‍රියාවලිය තුල වර්තමාන මිලදී ගැනීමේ ආර්ථික මධ්‍යස්ථාන සියල්ල ගොවි සංවිධාන වල පාලනයට යටත් කර ඒවා විකිණීමේ මධ්‍යස්ථාන බවට පරිවර්තනය කල යුතුය.

(7) ආහාර වර්ග වලට මිල අඩු විකල්ප ද්‍රව්‍යය මිශ්‍ර කිරිම මගින් එවායේ තත්වය බාල කිරිම සහ එමගින් මිළ අඩු කිරිම හරහා වෙළදපල තුල මිළ විකෘතීන් ඇති කිරිම වැලැක්විම මගින් දේශිය නිෂ්පාදන පද්ධතිය සහ මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරිම. ඒ අනුව පලමු වටයේදි පොල් තෙල් වලට වෙනත් තෙල් වර්ග මිශ්‍ර කොට ආනයනය කිරිම හෝ විකිණිම මෙන්ම කිරිපිටි වලින් කිරි මේදය ඉවත්කොට ඒ වෙනුවට ෆාම් තෙල් යෙදු කිරිපිටි ආනයනය සහ විකිනිම නැවැත්විය යුතුය.

(8) ආරක්ෂක හමුදා වල, විශේෂයෙන්ම සිවිල් ආරක්ෂක හමුදාව සතු පිරිස් බලය සහ සම්පත් යොදා ගනිමින් ඉංජිනේරු ඒකකයක් පිහිටුවීම මගින් ග්‍රාමීය කුඩා හා මධ්‍යම පරිමාණ වැව් සහ අමුණු සියල්ල ප්‍රතිසංස්කරණය කිරීම සහ ඒ ආශ්‍රිත පරිසර පද්ධති සංවර්ධනය කිරීම. ඊට අමතරව රජයට අයත් ඵලදායීතාවය අඩු ගොවිපල සහ ඉඩම් ප්‍රමාණයක් යොදා ගනිමින් හමුදාව මගින් ආදර්ශ ගොවිපොළ ජාලයක් පිහිටුවීම සහ තරුණ තරුණියන් කෘෂි කර්මාන්තයට යොමු කිරීම සදහා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම.

(9) ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩළය සතු ගොවිපල පද්ධතීන් යොදා ගනිමින් කිරි ගව අභිජනන ජාතික වැඩසටහනක් ආරම්භ කිරීම මගින් ගොවීන්ට පැටව් ලබා දීම. (විදේශීය රටවලින් දෙනුන් ආනයනය කිරිම අභිජනන කටයුතු සදහා පමණක් සීමා කළ යුතුය.)

(10) ආරක්ෂක හමුදා සතු සම්පත් සහ තාක්ෂණික විද්‍යාල පහසුකම් සියල්ල යොදා ගනිමින් මුළු රටම තාක්ෂණික වෘත්තීය පුහුණු කදවුරක් බවට පත් කිරීම මගින් දේශිය සහ විදේශිය පුහුණු රැකියා අවස්ථා වර්ධනය කිරිම සහ නුපුහුණු කාන්තා ශ්‍රමිකයින් විදේශ රැකියා සදහා යැවීම නැවැත්වීම.

(11) පොහොර සහනාධාරය අස්වැන්න මත පදනම්ව ඍජුව මුදල් සහනාධාරයක් ලෙස ගොවියාට ගෙවීම මගින් රසායනික පොහොර භාවිතය අඩු කිරීම සහ අවම පලිබෝධ නාශක ලැයිස්තුව නීතිගත කිරීම මගින් පලිබෝධ නාශක භාවිතය අවම කිරීම. පොහොර සහනාධාර මුදල් ක්‍රමයෙන් අවශ්‍යතාවය අනුව ගොවියාට ගෙවීම සදහා ගොවිජන බැංකුව නැවත ආරම්භ කිරිම සහ එම බැංකුව යොදා ගනිමින් සුළු ණය ව්‍යාපෘතියක් ආරම්භ කිරිම. (ඒමගින් ගොවියා ක්ෂුද්‍ර මූල්‍ය වහල් භාවයෙන් ගලවා ගැනීමටද ඉඩ ලැබේ)

(12) දේශීය කර්මාන්ත කරුවන් ණය අර්බුදයෙන් ගලවා ගැනීම සඳහා මහා පරිමාණ ණය කරුවන්ට කර්මාන්ත ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා පමණක් පොලී සහනාධාර ක්‍රමවේදයක් හඳුන්වා දීම සහ කුඩා නිෂ්පාදකයා සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමවේදයක් රජය මගින් ආරම්භ කිරීම මෙන්ම පෞද්ගලික ක්ෂුද්‍ර මූල්‍ය ණය දීමේ ව්‍යාපාර වල පොලිය සඳහා උපරිම සීමාවක් පැනවීම.

(13) අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා පාලන මිල පැනවීම සහ එම මිල පැනවීමේදී දේශීය නිෂ්පාදකයාට අමුද්‍රව්‍ය සඳහා සාධාරණ මිලක් ලැබෙන ආකාරයට මිල සූත්‍ර අනුව එම උපරිම පාලන මිල පැනවිය යුතුය. උදාහරණයක් ලෙස සහල් සඳහා පාලන මිල පැනවීමේදී වී ගොවිතැන සහ වී ගොවියා ආරක්ෂා වන ආකාරයට වී සඳහා අවම මිල පැනවිය යුතු අතර ඊට අනුව කුඩා මෝල් හිමියාට පැවතිය හැකි වන ලෙස සහල් මිල පැනවිය යුතුය.

(14) සුනිත්‍ය බල අධිකාරී පනත සංශෝධනය කිරීම මගින් සුර්ය බල ව්‍යපෘති වලින් විදුලිය මිලදී ගැනීම සදහා රාජ්‍ය භාගය ඇතුලත් වන ආකාරයට මිල සුත්‍ර හදුන්වාදීම මෙන්ම සූර්ය බල විදුලිය පද්ධතියට සම්බන්ධ කිරීමට අදාලව ගැටළු විසදීම සදහා අරමුදලක් පිහිටුවීම සහ ආයෝජකයින්ගේ ගැටළු විසදීම සදහා අභියාචනා විභාග කිරීමේ ක්‍රමවේදයක් හදුන්වාදීම.

(15) මව්බිම ලංකා පදනමේ මග පෙන්වීම යටතේ පහත සදහන් කර්මාන්ත සදහා ආයෝජකයින් දිරිගේන්විම මුලික කරගෙන දිරිගැන්වීම් පැකේජයක් හදුන්වා දීම.

(15.1) රට තුල භූ ගෝලීයව පැතිරී යන ලෙස කිරි සකස් කිරීමේ කර්මාන්ත පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා කුරුණෑගල, වව්නියාව සහ කන්තලේ යන ප්‍රදේශ වල කිරි කර්මාන්ත ශාලා 3 ක් ආරම්භ කිරීම.

(15.2) කන්තලේ ඇතුළු වසා දමා ඇති සහ අර්ධ කාර්‍යක්ෂමතාවයෙන් පවත්වාගෙන යන සීනි කර්මාන්ත ශාලා වලට නැවත පණ දීම සහ මුඩු බිම් පමණක් යොදා ගනිමින් නව සීනි කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම.

(15.3) මිනිරන් අමුද්‍රව්‍ය ලෙස අපනයනය කිරීම වෙනුවට ”කළු රත්තරන් හෙවත් ග්‍රැෆින් ලෙස වටිනා කම් එකතු කොට අපනයනය කිරීම සදහා කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම. (එහිදි වටිනාකම් එකතු කිරිම දහස් ගුණයක් වන අතර එක් කර්මාන්ත ශාලාවකින් වාර්ෂිකව ඇමරිකන් ඩොලර් මිලියන 5,000ක විදේශ විනිමය ප්‍රමාණයක් ඉපයීමේ හැකියාව ඇත.)(

(15.4) ඛණිජ වැළි අමුද්‍රව්‍ය ලෙස අපනයනය කිරීම වෙනුවට වටිනා ලෝහ නිස්සාරණය කොට අපනයනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම. (එමගින් වාර්ෂිකව ඩොලර් මිලියන 2,500ක විදේශ විනිමය ඉපයීමේ හැකියාව ඇත.)

(15.5) රටට අවශ්‍ය බස් රථ සහ දුම්රිය මැදිරි සම්පූර්ණයෙන්ම දේශියව නිපදවීම සදහා කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරිම. (රජය මගින් ඉල්ලුම් කරන ප්‍රමාණය අනුව)

(15.6) රබර් සහ පොලිතින් අපද්‍රව්‍ය වලින් දුම්රිය මාර්ග සදහා ස්ලීපර් නිපදවීම.

(15.7) එප්පාවල රොක් පොස්ෆේට් වලින් සිංගල් සුපර් පොස්ෆේට් නිපදවීම.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *


seven − = 3